තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය “කොවුලා කොහේදෝ

තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය
 “කොවුලා කොහේදෝ

- මාරියෝ ආනන්ද
කොවුලා කොහෙදෝ  ගොලු වී ගියාදෝ
සරදම්  ලබා ෙදෙවයේ
මිතුරා  කොහේදෝ  වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ
සුර දූතයන් හෝ සුර දූතියන්  හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුර ලෝ
ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්
නිමවා  ගියත් මෙලෙස  වෙන් වී
දුර ඈත අහසේ තරුවක් විලාසෙන්
මතු වී බලා අපගෙ ලෝකේ
සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

ජනකාන්ත ගායක සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන් වියෝ වී තුන් වසරක් සපිරෙන්නේ මෙම දෙසැම්බර්  30 වෙනිදාටයි. ඈත දුරක  දෑස පාවෙලා ගීය ගයමින්   ගී ලොවට ආ ග්‍රේෂන් ගැයූ අවසන් ගීතය මෙයයි. ආනන්ද පද්මසිරි රචනා කළ මෙහි සංගීතය ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්දගෙනි.
“මේ ගීතය මම රචනා කළේ  හිතාදර මිත්‍ර ගායක  ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනයි. ඔහු මගේ හොඳ  සමීපතමයෙක්වගේම ගීත නිබන්ධකයෙක් හැටියට  මම ආ ගමනට  අත්වැල් සැපයූ හිතවතෙක්. මෙය ලියල බොහෝ කාලයක් මා ළඟ තිබුණා.  ග්‍රේෂනුයි මමයි නිතර හමුවෙනවා. දවසක් ග්‍රේෂන්  මේ ගීතය දැකල   ඔහු ගයන බව කියා ඉල්ලා ගත්තා. ඔහුත් ක්ලැරන්ස්ට හරි කැමතියි.   ක්ලැරන්ස් ලවා ගීතයක් හදා ගන්න බැරිවීම ගැන ග්‍රේෂන්   දුක් වුණා. මම මෙය ලියූ කඩදාසියේ   වෙන ගායකයෙකුගේ නම ලියා තිබුණා. මම හිතාගෙන හිටියේ ඒ ගායකයා ලවා මෙය ගායනා කරවන්නයි. ග්‍රේෂන් ඉල්ලූ නිසා මම ගී පදවැල  ඔහුට  දුන්නේ අර ගායකයාගේ නම  සඳහන් කොටස  ඉරා දමලායි. 2010  වසරේ අග හරියෙදි  මිය යන්න ටික කලකට පෙර මාරියෝගේ සංගීතයට  ග්‍රේෂන්  මෙය ගායනා කළා. මම මෙය රචනා කළේ ක්ලැරන්ස්  ගැන කියන්නට වුණත් ග්‍රේෂන්  වියෝ වුණාම මට හිතුණා  මේ පදවැල ග්‍රේෂන් ගැන කියන්නත් ගැළපෙන බව. ඒ වගේම   තමන්ගේ මුල්ම ගීතය “ඈත දුරක” ගායනා  කළ ලස්සන කටහ¾ඩින්ම  ග්‍රේෂන් මේගීතය හොඳින්   ලස්සනට ගායනා කළා.  අද මේ ගීතය  ඇහෙද්දී ක්ලැරන්ස්  හා 
ග්‍රේෂන්  දෙන්නාම ගැන සංවේගයක් ඇතිවෙනවා .... ආනන්ද පද්මසිරි කියයි. අන්තර්ජාලයේ අනම්මනම් ඩොට් කොම් (Anammanam.com) ඇතුළු  සංගීතමය වබේ අඩවි තුළින් මේ ගීයම විශාල රසික පිරිසක් සවන් දී තිබේ.
“ගුවන් විදුලි මාධ්‍යවලින්  සහායක් නැතත් අන්තර්ජාලය  ඔස්සේ  විශාල පිරිසක් මේ ගීය අහල අදහස් දක්වල  තියෙනවා. තාත්තාගේ  අවසාන ගීතය පුතාට සංගීතවත්  කරන්න සිදුවීම මට හිතෙන්නේ  දුර්ලබ අවස්ථාවක්. අද මටත් මේ ගීතය ඇහෙද්දි ලොකු දුකක් ඇති වෙනවා ....” ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්ද  “කොවුලා කොහේදෝ” ගීතය ගැන අදහස් දක්වන්නේ එසේය.  බොහෝ විට ප්‍රීතිදායක  ගීත ගැයූ ග්‍රේෂන්   ආනන්දයන්   ඉතාමත් සෝබරව ගායන ඔහුගේ මේ අවසාන ගීතය දැන් ඔබටත් අන්තර්ජාලය ඔස්සේ ඇසිය හැකිය. ආනන්ද පද්මසිරි ලියා මාරියෝ සංගීතවත් කර ගැයූ ආනන්ද ගීතේ ඔබයි මා ඇසූ” නමැති පිය උපහාර ගීතයක් (ග්‍රේෂන් ගැන) අන්තර්ජාලයේ යූ ටියුබ් (U Tube)  ඔස්සේ නැරඹිය හැකිය. ඉදිරියේදී  නිකුත් කරන  ගී එකතුවකට මේ ගීත දෙකම ඇතුළත් කරන බව ආනන්ද පද්මසිරි සහ මාරියෝ ආනන්ද  කියති.

0 comments:

Post a Comment