දුප්පත්කම හින්දා පුංචි කා‍ලේ දුක් විඳපු හැටි කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ

සදාදරණීය ගායිකාව නන්දා මාලිනී සිය ජීවිත අත්දැකීම් හෙළි කරයි


2013 නොවැම්බර්  29 06:
30 p.m
කොටහේනේ කාසිචෙට්ටිගේ වත්ත තිබුණේ ශාන්ත බෙනඩික් විද්‍යාලය අසල හත් වැනි පටුමගේය. බොහෝදෙනකු මේ වත්ත හැඳින් වූයේ “කාසෙට්ටි වත්ත” නමිනි. මීට වසර පණහකට පෙර මේ මුළු වත්තේ ගෙවල් 60කටම තිබුණේ වතුර පයිප්ප දෙකකි. ‍පොදු වැසිකිළි පේළියක්ද වත්ත කෙලවරේ විය. 1934 දී පමණ මෙහි පදිංචියට පැමිණි මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා කොටහේනේම පදිංචිකරුවෙකු වූ අතර ඔහුගේ බිරිඳ අලුත්ගම ලෙවන්දූවේ උපන් ලියනගේ එමලි පෙරේරා නම් විය. මේ යුවළට දාව 1943 අගෝස්තු 23 වෙනිදා ‘කුණු මෝල’ රෝහ‍ලේදී (සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපස සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඇති ඒ. එච්.එම්. ෆවුසි මාතෘ සායනය එකල කටවචනයෙන් හැඳින්වුණේ ඒ නමිනි) උපන් තුන්වැනි දරුවා මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා නම් විය. නන්දාට සහෝදර සහෝදරියෝ අට දෙනෙක් සිටියහ. 
1984 “කල්පනා” සඟරාවට ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා ලියූ ලිපියකට නන්දාගේ පියා නිහතමානීව මෙසේ ප්‍රකාශ කොට තිබුණි. “අපේ මුළු ගෙයම කුස්සියත් එක්ක කෑලි තුනයි. පැදුරු දමා ගෙනයි මගේ ළමයි නව දෙනාම මේ කෑලි දෙකේ නිදා ගත්තේ. මුළු ගෙටම තිබුණේ එකම කුප්පි ලාම්පුවයි.” 
නන්දාගේ ජීවිත අත්දැකීම්වලින් බිඳක් ලියන්නට පසුගිය සඳුදා අප ඇය  මුණගැසුණේ නුගේගොඩ විජයබා මාවතේ ඇගේ සංගීත ආශ්‍රමයේදීය. කුමන උසස් උත්සවයකදී වුවද අපට හමුවන මේ “සුදු වත හැඳි කත” එදිනද චාම් ඇඳුමින් සැරසී සුපුරුදු සිනා රැල්ලෙන් අප පිළිගත්තාය. අපි දිගු සුහද පිළිසඳරකට අවතීර්ණ වුණෙමු.
“මගේ තාත්තා ටේලර් කෙනෙක්. හයිඩ්‍රාමනී සමාගමේ “කටර්” කෙනෙක් හැටියට තමයි වැඩ කළේ. තාත්තාට කවුරුත් කතා කළේ “කෝට් බාසුන්නැහේ’කියලා. අපි ඉතාම දුප්පත් පවුලක්. තාත්තා අපිව හැදුවේ බොහොම අමාරුවෙන්. තාත්තා හයිඩ්‍රාමනී සමාගමේ දවසම වැඩ කරලා ගෙදර ඇවිල්ලත් රෑ වෙනකන් ඇඳුම් මහල අමතර මුදලක් හම්බ කළා. මගේ තාත්තා සත්‍යගරුක, අවංක කෙළින් වැඩ කළ, කිසිවෙකුට අත නොපෑ, කාටවත් ණය නැති ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්. මගේ ජීවිතයේ දැන් අවුරුදු 70ක් ගෙවිල. දැන් මම ආපහු හැරිල බලන කොට මගේ චරිතය ‍පෝෂණය වෙලා තියෙන්නේ තාත්තාගේ ගති ගුණවලින් කියලා මට හිතෙනවා. 
ඇත්තම කිව්වොත් අපි වේලක් ඇර වේලක් කෑවා කිව්වොත් නිවැරදියි. අපිට ඇඳුම් පැළඳුම් තිබුණේ නෑ. හුඟක් දවස්වල ඉස්කෝලෙ යද්දී අපි උදේට කාල ගියේ ඉඳි ආප්ප දෙකයි. අතට ශත 02ක් ලැබුණා. අපි සපත්තු දැම්මේ නෑ. ලී වලින් හදපු කට්ට  සෙරෙප්පු කියල ජාතියක් ඒ දවස්වල තිබුණා. හරි ලාබයි. ඒවා තමයි අපිට තාත්තා අරන් දුන්නේ. මට තිබුණ ගවුම රෑට හෝදලා දාලා අතින් රැළි හදාගෙන උදේට පාසල් ඇඳගෙන ගියා. අද මෙව්වා කියන්න මම ලැජ්ජා නෑ.” නන්දාගේ මතකය ඈතින් ඈතට ගියේ ඇයටත් නොදැනීමය. 

නන්දා ඉගෙනුම ලබා ඇත්තේ කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් සිහිවෙන්න හදපු පාසලකි  ඒ. සාහිත්‍යය, කලාව, බුද්ධාගම උගන්වන, සිසුන්ගේ කලා රසාස්වාදය දියුණු කළ ආචාර්ය මණ්ඩලයක් සිටීම නන්දාගේ වාසනාවට හේතුවක් වූහ.ඇගේ පන්තියේ සිටි කලාවට ලැදි එකම සිසුවා වූයේ වික්ටර් වික්‍රමගේය. 
“මගේ ප්‍රියතම ගායන ශිල්පිනියන් දෙදෙනා වුණේ ජී.එස්.බි. රාණි පෙරේරා සහ රුක්මණී දේවී. අදත් ජී.එස්.බි.රාණි පෙරේරාගේ ගී අහන්න මම කැමතියි. මගේ යම් කුසලතාවක් තිබුණා නම් එය වටහා ගැනීමට දෙමවුපියන්ට ශක්තියක් තිබුණේ නෑ. ඒ කුසලතාව දැක්කේ, මම සාහිත්‍ය සමිතියේ ලී වලින් සකස් කළ වේදිකාවේ සිට ශාලාව කෙලවරට ඇසීමට කවි කියනු අසා සිටි එම්. මාග්‍රට් පෙරේරා ගුරුතුමියයි. (ඇය අද බත්තරමුල්‍ලේ ගැමුණු මාවතේ පදිංචිව සිටියි) මම ඒ කා‍ලේ ප්‍රසිද්ධව හිටියේ “කවි කියන නන්දා” හැටියට. මාග්‍රට් ගුරු මෑණියන් මාව ගුවන් විදුලියේ ළමා මණ්ඩපය කරපු කරුණාරත්න අබේසේකර මහත්තයට හඳුන්වා දුන්නා.” 
“මහත්තයා, මේ ළමයා ගායනයට දක්ෂ අපේ ඉස්කෝලෙ ඉන්න දුප්පත් ළමයෙක්. පුළුවන් උපකාරයක් කරන්න.” ඇය කරුණාරත්න අබේසේකරයන්ට නන්දා හඳුන්වා දී ඇත්තේ එසේය. 
අවුරුද්දකට පස්සේ ඇයට ගුවන් විදුලියේ “ළමා මණ්ඩපයේ” තනිවම ගීතයක් ගයන්න අවස්ථාවක් ලැබිණ. 
“බුදු සාදු...... බුදු සාදු
මම සමන් වැළක් වෙන්නම්” 
මේ ගීතය නන්දාට රචනා කර දුන්නේ අසෝක කොළඹගේ ය. ඩී.ඩී. ඩැනී තනුව නිර්මාණය කර දුන්නේය. ඇගේ ළමා මණ්ඩපයේ මිතුරු මිතුරියන් වූයේ මල්ලිකා ද සිල්වා (කහවිට), සුධර්මා ද සිල්වා චන්ද්‍රානි රුද්‍රිගු (ගුණවර්ධන), උපුල් රන්ජන් විජේවර්ධන (විශේෂඥ වෛද්‍ය) ප්‍රිම්රෝස් ජයසිංහ (වෛද්‍ය) එස්.
ලියනගේ, රංජිත් නවරත්න, පැට්රික් ප්‍රනාන්දු, විජිත කුසුම් ආදීන්ය. 

“බුදු සාදු” ගීතයෙන් පසු නන්දා ගැන අවධානයෙන් සිටි අමරදේව, එච්.එම්. ගුණසේකර, මඩවල එස්.රත්නායක, විමල් අභයසුන්දර, මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, ඩන්ස්ටන් ද සිල්වා, තිලක සුධර්මන් ද සිල්වා, සරත් විමලවීර වැනි විශිෂ්ට කලාකරුවන් පද්‍යාවලිය, මධුවන්ති, නිර්මාණ රේඛා, කල්පනා වැනි වැඩසටහන්වල පද්‍ය ගායනයටත්, අත්වැල් ගායනයටත් 

ඇය සහභාගි කර ගත්හ. 
1959 ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ආධුනික ගායනා තරගයකින් මුල් තැන ලබා ගැනීම කොටහේනේ නන්දාගේ ජීවිතයේ තවත් මං සලකුණක් විය. කරුණාරත්න අබේසේකර මෙහෙයවූ මේ තරගයෙන් දෙවන තැන දිනුවේ පසුකාලීනව විශිෂ්ට ගායකයෙකු හා සංගීතඥයෙකු වූ කඩුගන්නාවේ වික්ටර් රත්නායකය. 
“මට මේ තරගයෙන් මුල් ස්ථානය ලැබිම නිසා බොම්බායට යාමට ගුවන් ටිකට් පතක් තෑගි වශයෙන් හිමි වුණා. ඒ ගමන යන්නේ නැත්නම් ඒ වෙනුවට රු. 1200 ක් ලබාගැනීමේ අවස්ථාව තිබුණා. මම රුපියල් 1,200 ලබා ගෙන ඒ මුදලින් ගෙදරට ලයිට් අරගෙන ඉතිරි මුදලින් විදුලි ඉස්තිරික්කයක් හා මාලයක් ගත්තා.” නන්දා ජයග්‍රාහී හිනාවක් මුවට නගා ගනිමින් කීවාය.
නන්දාගේ සංගීත ජීවිතයේ වෙනසක් ඇති වන්නේ 1961 අග භාගයේදීය. “දවසක් අමරදේව සර් අපේ පුංචි ගෙදරට ආවා. මට ඒක අදහා ගන්නවත් බැරිතරම් සිද්ධියක්. 
“මම ආවේ නන්දව චිත්‍රපටයක සිංදුවක් කියන්න එක්ක යන්න අවසර ඉල්ලන්න.” කියලා අමරදේව සර් කියනකොට මට තවත් අදහගන්න බැරි වුණා. 
චිත්‍රපටයේ නම “රන් මුතු දූව“. මාව අමරදේව සර් කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයට එක්ක ගියා. එතැන මයික් විල්සන්, ශේෂා පලිහක්කාර,තිස්ස ලියනසූරිය මහත්තුරු හිටියා. මා සමග යුග ගීය ගයන්න හිටිය නාරද දිසාසේකරත් ඇවිත් හිටියා. මට එතකොට වයස අවුරුදු 16ක් විතර ඇති. කොටින්ම මම මයික් එකටවත් උස නැහැ. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු මහත්තයා මාව මයික් එකට උස නැති නිසා පුංචි බංකුවක් උඩින් උස්සලා තිබ්බා. 
“ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ” 

මේ ගීතය අතිශයින් ජනප්‍රිය වුණා. චිත්‍රපටයේ ගාමිණි හා ජීවරාණි සිටි ජවනිකාවක පසුබිමින් ගැයූ නිසාත්, චිත්‍රපටය අතිශයින්ම ජනප්‍රිය වූ නිසාත් මටත් තැනක් ලැබුණා.” නන්දා කීවාය.  එපමණක් නොව 1964 පැවැති මුල්ම සරසවි චිත්‍රපට සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස ඒ ගීතය සඳහා නන්දාට සරසවි සම්මානයද හිමිවිය.   
“මගේ ජීවිතේ හුස්ම තියෙනකම් අමරදේව සර්ට පින් දෙනවා. රන් මුතු දූවෙන් මම නැවත ඉපදුණා. මේ ගීතය නිසා කාසෙට්ටි වත්තේ මිනිස්සු මට සැලකිල්ලක් දක්වන්න පටන් ගත්තා. කොටහේනේ අපේ කෙල්ලෙක් කප් එක ගැහැව්වෙ‘ කියලා. 
රජයේ සංගීත විද්‍යාලයට බැඳී සංගීතය හැදෑරූ ඇය බි. වික්ටර් පෙරේරා, ප්‍රේමදාස මුදුන්කොටුව යටතේ වැඩි දුර ඉගෙන ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයෙන් සංගීත විශාරද උපාධිය ලැබුවාය. 
සංගීත විද්‍යාලයට බැඳීම එක්තරා අතකින් නන්දාගේ ජීවිතය ඉරි තැලීමට හේතුවක් වූ බව ඇය කියන්නීය. එය සංක්‍රාන්ති සමයකි. ආලෝකයත් අඳුරත් එකට කැටි වූ ඒ කාලයේ ඇයට ප්‍රේමවන්තයෙක් මුණ ගැසුණි. මේ නිසා දහනම වැනි වියේදී ඇයට විවාහ වීමට සිදුවිය. මේ විවාහය අසාර්ථක එකක් විය. 
“මට ජීවත් වීමට ශක්තියක් ලැබුණේ සංගීතය නිසයි. මීට 28 වසරකට පෙර නුගේගොඩ විජයබා මාවතේ නිවසේදී ඇරඹුණු සංගීත ආශ්‍රමය සංගීතය ඉගෙන ගැනීමට පැමිණි සිසු සිසුවියන්ගේ තක්සලාවක් වුණා. ඒ අතරම චිත්‍රපට රැසක ගී ගැයීමට අවස්ථාව ලැබුණා. සම්මාන රැසක් ලැබුණා.” නන්දා කීවාය. 
සරසවි සම්මාන 14ක්ද ජනාධිපති සම්මාන 11 ක්ද ස්වර්ණ සංඛ සම්මාන ඇතුළුව ඇය ලැබූ සම්මාන සිය ගණනකි.  සුමති සම්මාන උළෙ‍ලේදී කිසියම් කලාකරුවෙකුට ජීවිතයේ එකවරක් පිදෙන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය 2007 වසරේ දිනා ගත්තේ නන්දාය. 
නන්දා කැසට් පටයකට ගැයූ “බුදු තාත්තේ බොන්න එපා’ ගීතය නිසා ඇගේ පියා දැඩි අපහසුතාවකට පත්වූ අයුරු නන්දා සඳහන් කළේ වේදනාවෙනි. 
“මේ ගීතය ඒ කා‍ලේ හරියට ජනප්‍රිය වුණා. මගේ තාත්තා මත්පැන්, සිගරට්, සුරුට්ටු, ජීවිතේට බිලා නැහැ. මේ ගීතය ඇසූ හයිඩ්‍රාමනී ආයතනයේ බාසුන්නැහේලා තාත්තාට මෙහෙම කිව්වලු. 
“වින්සන්ට් බාසුන්නැහෙ අපිට බොන්නේ නැහැ කිව්වට ඔය දුව කියල තියෙන්නේ ඇත්තම.” 
මේක අහල තාත්තා මාව හම්බවෙලා මට දොස් කිව්වා. “උඹ කරන වැඩ හින්දා මට අවලාද අහන්න වුණා.” කියලා කිව්වා. තමා මේ සිද්ධිය නිසා දැඩි සිත් වේදනාවට පත්වූ බව ඇය කියයි.
නන්දා ‍පොත්පත් කියවීමටද රුසියෙකි. තමා මතෛක් කියවූ ‍පොතපත අතරින් මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ කෘතියට ඇය කැමති  නවකතාවේ ‘අම්මා’ තමාගේ අම්මා නොවේදැයි සිතූ නිසාය. අම්මා නොකා දරුවන්ට කන්න දුන්න අවස්ථා නන්දා තවමත් මතක් කරන්නීය. 
නන්දා සුබ නැකත්, රාහු කාලය විශ්වාස නොකළාය. නමුත් ඇය ගෙදර බුදු පහන නොතබානම් ගෙදරින් පිට වන්නේ නැත. 
“මම ගෞරව කරන්නේ බුදුන් වහන්සේට පමණයි. මගේ දේව විශ්වාසය නැහැ. මගේ හොඳම වැඩ වලදී මම බුදුන් වහන්සේට තියෙන බුදු පහන ගැන විතරයි විශ්වාසය තබන්නේ. මගේ සෑම ප්‍රාර්ථනාවක්ම අකුරටම ඉටු වෙලා තිබෙනවා. 
“මගේ ජීවිතයේ හොඳම මිතුරා, උපදේශකයා, පෙර ගමන්කරුවා මහාචාර්ය සුනිල් ආරියරත්න. සුනිල් පාසල් යන කා‍ලේ ඔහුගේ මුල්ම සරල ගීය ‘සකුරා මල් පිපිලා’ ගීතය ලිව්වේ මටයි. එහි තනු නිර්මාණය මගේ. සුනිල්ගේ පවු‍ලේ හැමෝම මගේ ජීවිතයේ දුක සැප බලා ගත්තා. 
අපි ඒ තරම් සමීපයි. මගේ චින්තනය වෙනස් කළේ ඔහුයි. ගීත  තෝරා ගැනීමට, විවිධ ෙශෙලියේ නිර්මාණ කිරීමට ඔහුගෙන් ලැබුණු අනුප්‍රාණයට මම ණය ගැතියි.” නන්දා කීවාය. 
නන්දා ඉතා සරල, අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නියකි.
“මට හුඟක් දේවල් තිබුණේ නැහැ. මම ක්‍රමයෙන් සරල ජීවිතයකට හුරු වුණා. මම ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නැහැ. මට ලැප්ටොප්, ඊ මේල්, ෆේස්බුක් නැහැ. කොටින්ම නව තාක්ෂණයත් එක්ක නැහැ. මට ඒ ගැන අවබෝධයක් නැති නිසා ඒවා දන්න අයගෙන් උපකාර ලබා ගන්නවා. මට ලැබුණ දේවල් නාස්ති කර ගත්තේ නැහැ. අත්‍යවශ්‍යම දේ මිස ගෙදර වෙන කිසිවක් නෑ. 
මම තවමත් සංගීතය ඉගෙන ගන්නවා. මේ ළඟක් වෙනකන් ප්‍රේමදාස මුදුන්කොටුව සර්ගෙන් රවින්ද්‍ර සංගීතය ඉගෙන ගත්තා. මට තවම හොඳට සින්දු කියන්න පුළුවන්. මගේ සෞඛ්‍යය හොඳයි. 
මගේ ලොකු දුව වරුණි විවාහ වුණේ ධර්මසිරි ගමගේ අයියාගේ පුතෙකු වූ චමින්ද සමග. ඔවුන්ට රන්දි කියලා දුවක් ඉන්නවා. දවෛනි දූ අමා විවාහ වී සිටින්නේ සංජීව සමග. ඔවුන්ට නෙතු කියලා දුවක් ඉන්නවා. චමින්ද, සංජීව බෑණල දෙන්නත් මගේ දුවල වගේම මට ආදරෙයි. මගේ දුක සැප බලන්න දැන් සුනිල්, රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ හා සීතා, සමන් අතාවුදහෙට්ටි වගේ පුංචි පිරිසක් ඉන්නවා. ඒ හොඳටම ඇති. මගේ බාල නංගි ජයන්ති හා ඇගේ සැමියා අසෝක, අම්මා තාත්තා වගේ පවු‍ලේ අනිත් අයගේ දුක සැප බලනවා. මගේ දුවලට බෑණලටත් මේ දෙන්නා සෙවනැල්ල වගේ ඉන්නේ. ඉතින් මට තව මොනවද අඩු?” නන්දා සැහැල්ලුවෙන් සිනාසෙමින් කීවාය.


ඒ.ඩී. රංජිත් කුමාර

0 comments:

Post a Comment