පුංචිම දවස්වල අම්මා ශ්‍රියන්තට අන්දලා තියෙන්නේ ගවුම

“චූටි කාලෙ වෙච්ච දේවල්” තුළින් මේ සතියේත් අපි අපේ ජනප්‍රිය කලාකරුවකුගේ චූටි කාලෙ විස්තර ඔබ වෙතට ගෙන එනවා. මේ සතියේ අපට එකතු වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්.
ශ්‍රියන්තගේ ආදරණීය මවුපිය යුවළ වන්නේ ලාතරස් මෙන්ඩිස් සහ කරලයින් සොයිසා යුවළ මේ දෙන්නගෙ කුළුඳුල් දරුවා තමයි ශ්‍රියන්ත. මේ දෙන්න මේ වෙද්දී පදිංචි වෙලා ඉඳල තියෙන්නේ රාගම. ශ්‍රියන්ත ඉපදිලා තියෙන්නේ සොයිසා රෝහ‍ලේ. මේ යුවළ තමන්ගෙ කුළුඳුල් දරුවාට ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් කියල නම දැම්මා. අද මුළු රටම ශ්‍රියන්තව හඳුන්වන්නේ “ශ්‍රියන්ත මෙන්ඩිස්” නමින්. ඒ වුණත් අදටත් ඔහුගේ සමීපතමයින්ට නම් ඔහු ශ්‍රියන්ත නමෛයි. “ශාන්ති අයියා” ශාන්ති මල්ලි, ශාන්ති බාප්පා, ශාන්ති මාමා” කියලා තමයි ශ්‍රියන්තගේ නෑදෑ පිරිසයි වටපිටාවේ හිතවතුනුයි  ඔහුව අමතන්නේ. ඒ ආමන්ත්‍රණය පිටුපසත් තියෙන්නේ බොහොම අපූරු කතාවක්. 
“මම තමයි පවු‍ලේ වැඩිමලා. මාව පිළිසිඳ ගත් මොහොතේ පටන්ම අම්මා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ගැහැනු දරුවෙක්ව. පවුලෙ වැඩිමලා දුවෙකු වීම භාග්‍යයක් බව තමයි අම්මලා ඒ දවස්වල හිතලා තියෙන්නේ. තමන්ගෙ බල‍පොරොත්තුව තුළ ඉඳන් ඒ දවස්වල අම්මා සෑහෙන්න  හීන මැව්වලු. සමහර වෙලාවට තමන්ගේ කුස පිරිමදිමින් කුළුඳුල් දුවත් එක්ක කතා කළාලු. අම්මා සංගීත ගුරුවරියක්. වයලීනය වාදනය කරමින් කුසේ ඉන්න දුවට දැනෙන්න නැළවිලි ගී කී බවත් අම්මා මට කියලා තියෙනවා. ඉපදෙන දරුවාට රෝස පාට ගවුම් ‍පොඩි මහලා විතරක් නමෛයි නමකුත් දාලා පවුලට ශාන්තිය උදාකරන ලොකු දුවට “ශාන්තිනී මෙන්ඩිස්” කියලා නම දාන්නයි අම්මයි තාත්තයි හිතාගෙන ඉඳල තියෙන්නේ. ඒත් ඉපදුනේ දුවෙක් නමෛයි. පුතෙක්. ඒ හින්දා බලා‍පොරොත්තුව වෙනස් වුණත් මට ගෙදරට සුරතල් නාමය විදියට “ශාන්ති” කියන නම යොදන්න ඒ අය සිතන්න ඇති. ඒකයි මම අදත් පවුල තුළ “ශාන්ති” වෙලා ඉන්නේ” 
පුංචිම කා‍ලේ බිලිඳු ශ්‍රියන්ත හරිම හුරුබුහුටි දරුවෙක්ලු. ඒ දවස්වල හැඩ වැඩ ඇති අයට “හෙට්ටි කොල්ලා, හෙට්ටි කෙල්ල” කියන උපමාව යොදන සිරිතක් ශ්‍රියන්තලාගෙ වටපිටාවෙ තිබුණලු. ඊට හේතුව “හෙට්ටි ජාතිකයන් රූමත් අය බවට තිබුණු විශ්වාසය වෙන්න ඇති කියලයි ශ්‍රියන්ත කියන්නේ. බිළිඳු ශ්‍රියන්තත් හැඩට වැඩට ඉන්න හින්දා වටාපිටාවේ හැමෝම ශ්‍රියන්තටත් “හෙට්ටි කොල්ලා” කියලාලු ආමන්ත්‍රණය කරන්නේ. හුරුබුහුටි පෙනුමක් දරුවාට තිබුණු නිසාත්, දියණියක් ගැන තදබල බලා‍පොරොත්තුවක් හිතේ තිබුණු හින්දත් ශ්‍රියන්තගෙ මව “පුංචි පුතාගේ කොණ්ඩය වවලා පුංචි ගවුම් ‍පොඩි තමයි අන්දවලා තියෙන්නේ. හැබැයි ඉතින් ටිකක් විතර තේරෙන වයස එද්දී ශ්‍රියන්ත ගවුම් ඇඳීමයි කොණ්ඩෙ වවන එකයි ප්‍රතික්‍ෂේ්ප කරල තියෙනවා. 
බිලිඳු ශ්‍රියන්තට ඒ දවස්වල පටබැඳිලා තිබුණු තවත් නමක් තමයි” “මල් වට්ටිය” කියන නම. ඒ නම පට බැඳෙන්නට බලපෑ හේතුව මෙන්න මේකයි. 
“අපේ තාත්තා එහෙම හරිම සමාජශීලී අය. මමත් පුංචි කාලෙ හරිම සමාජශීලී කෙනෙක්ලු.  වටාපිටාවේ අය නිතරම මාව වඩාගෙන හුරතල් කරනවලු. මමත් අඳුනන නාඳුනන හැමෝටම හිනාවෙලා ඒ අයගෙ අතට යන දරුවෙක්ලු. මේ විදියට අතින් අතට යන හින්දයි මට මල් වට්ටිය කියන්නෙ” 
චූටිම චූටි කාලෙදි ශ්‍රියන්ත ටිකක් දඟකාර දරුවෙක්. ඒ වගේම ටිකක් කේන්ති යනවා. සිඟිත්තෙක් තමන් තුළ නැගෙන දුක, සතුට, කෝපය ආදී විවිධ හැඟීම් පිට කරන තමන්ටම ආවේණික ක්‍රම තියෙනවා. මේ සිඟිත්තටත් එවැනි ගුණාංගයන් තිබිලා තියෙනවා. 
“චූටි කාලෙ මට කේන්ති ගියාම මහ හයියෙන් කෑ ගහලා අඬනවලු. ඒ වගේම හැම තැනම මුත්‍රා කරනවාලු.” 
ශ්‍රියන්ත හිනාවෙලා ඒ විදියට පැවසුවා.
“මට අවුරුදු දෙකකට පස්සේ මල්ලි ඉපදුනා. තවත් අවුරුදු දෙකකින් නංගි ඉපදුනා. අවුරුදු හතර පහ වෙද්දි පවුලෙ වැඩිමලා විදියට මට වගකීම් ලැබුණා. අම්මා රැකියාවට යන හින්දා අපිව බලාගත්තේ  “චූටි අම්මා” කියල ඥාතිවරියක් චූටි අම්මා සමහර වෙලාවට නංගිව නිදි කරවන රාජකාරිය මට පවරනවා. මමත් “දොයි දොයි දොයි” කවිය වගේම අහල තියෙන කවි කියලා නංගිව නළවනවා.”
හැබැයි ඉතින් ශ්‍රියන්තගේ නැළවිලි ගී අහලා පුංචි දැරිවි නිදියගන්නෙ නම් නැතිලු. ඒ වෙනුවට ඇය කරන්නේ මහ හයියෙන් කෑගහලා අඬන එකලු. මොකද දන්නවාද ඊට හේතුව. 
“එතකොට මම වයස 4ක විතර ළමයෙක්නේ. ඉතින් මට නංගිව නළවන නැළවිලි ගී පටන් ගන්නේ ඉහළම ස්වරයෙන්. කවියේ අන්තරා කොටසත් ඒ ස්වරයෙන්ම ගයලා කවිය අවසන් කරන්නෙත් ඒ ස්වරයෙන්. ඒ විදියට මහා හයියෙන් කවි කියද්දි දරුවෙක් නිදියන්නෙ නැහැනේ. ඉතින් චූටි අම්මා තමයි ඒ  ඒ වෙලාවට මගෙ නැළවිලි ගීතයේ හඬ පාලනය කරන්නේ. අදත් මට වේදිකාව මතදි එදා වගේම කෑගහලා කවි කීමේ හැකියාව නම් තියෙනවා.”
එහෙම කියල ශ්‍රියන්ත මහා හයියෙන් හිනාවුණා.

0 comments:

Post a Comment