කුඩම්මාගේ සැලකිලි මැද ඈ නොඑන ගමන් ගියාය

2013-11-24 02:00:00

කලා ලෝකය යනු බෙහෙවින්ම සුන්දර තැනකි. ජීවිතයේ බොහෝ දෙනෙක්ගේ සිත් සතන් අස්වසාලන, තවත් විටෙක නොයෙකුත් විඩාවන් දුරලන සොඳුරු නැවතුම්පළකි. ඒ හා සමානව මේ අතර සැරිසරන්නන්ගේ ජීවිතයද බොහෝවිට සොඳුරු විය හැකිය. මේ හැම තීරණය වන්නේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හා ඔවුන් විහිද විසිර සිටින සීමා මායිම් තුළ සිදුවන්නා වූ ක්‍රියා කලාපයන් අනුවය. ඉදින් මේ සියල්ලම කලාව නම් වූ සොඳුරු ලෝකය තුළ සිදුවිය හැකිවාක් මෙන්ම නොවීමටද පිළිවන. ඒ හැම අපට තීරණය කළ හැකි වන්නේ ප්‍රායෝගික ලොව තුළ සිදුකරන්නා වූ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුළය.


ලැටීෂියා පීරිස් නම්වූ ඇය උපත ලැබුවේ 1934 ඔක්තෝබර් 18 වැනි දින කොච්චිකඩේ පල්ලන්සේන නම් ගමේදීය. තම සිප්සතර හැදෑරීම පිණිස මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලට ඇතුළු වූ ඕ කුඩා වියේදීම තම අනාගතයේ ගමන් මාර්ගයන් පිළිබඳ සටහන් රේඛා ඉදිරිපත් කරන්නට සමත්වූවාය. සිංහල සිනමා වංසකතාවේ තම ගමන් මාර්ගයන් සනිටුහන් කරන්නට බොහෝ දෙනෙක් ආහ. තවත් බොහෝ දෙනෙක් පැමිණ සැඟව යන්නට වූහ. තවත් අය ඒ තුළම රැඳෙමින් ජයකෙහෙලි නංවන්නට සමත් වූහ. ලැටීෂියා පීරිස් නම් ඈද සිංහල සිනමා වංසකතාවේ නම ලියා තබන්නට පැමිණි නිළියකි.


ඇය රංගන කාර්යය සඳහා අත්පොත් තැබුවේ හෙළ සිංහල සිනමා වංසකතාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව නිර්මාණය කිරීමට ආශ්‍රය කරගත් කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍යයෙනි. පාසල් වියේදීම එනම් වසය අවුරුදු හයේදී හිල්ඩාගේ චරිතයට පණ පෙවූ ඈ දිගින් දිගටම එම රංග කාර්යය තුළ නියැළුණේ තම ඥාතිවරයකු වූ බී. ඒ. ඩබ්. ජයමාන්න මහතාගේ ආරාධනයෙනි. මේ අයුරින් තම දිවියේ කුඩා කල සිටම රඟපෑම කෙරෙහි මහත් වූ බැඳියාවක් දැක්වූ ඈ ඒ සමයේ සිටම මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක ලෙස දස්කම් දක්වන්නට සමත් වූවාය.


රංගන කාර්යයන් හා සම්බන්ධවම ජීවිතයේ ඉදිරි පියවර තබන්නට අදහස් කරගෙන සිටි ඕ ඉන් නොනැවතී ජීවිතයේ සුවඳින් පිරි මල් නෙළා ගන්නට තරම් සමත්කම් දැක්වූවාය. ඒ හැමදේම ඇය හා එක්තැන් වූයේ ඇය තුළ තිබූ නිසඟ හැකියාව නිසාවෙනි. ඒ නිසාවෙන්ම හදිසි විනිශ්චය, කතුරු මුවාත් වැනි චිත්‍රපටවල තම රංගන ප්‍රතිභාව විදාහරින්නට ඈ සමත්විණි. තම මුල්ම සමයේදී ජයමාන්න මහතාගේ සිනමා කාර්යයන් හා එක්වුණු ඈ පසුකාලීනව ටෙලි නාට්‍ය ක්‍ෂේතය තුළද තම හැකියාවන් පෙන්නුම් කිරීමට සමත් වූවාය. ඒ අතුරින් අසල්වැසියෝ, ප්‍රමාද වැඩියි වැනි ඉහළ රසික ප්‍රසාදයක් දිනාගත් ටෙලි නාට්‍ය තුළිනි.


තම දිවි පෙවෙත රංගන කාර්යන් සමඟින් හැඩවැඩ කරගත් මේ දිවි ගඟ තරණය කරන්නට තම ජීවන සහකරුවා ලෙස තෝරාගත්තේ මයිකල් ද සිල්වා මහතාය. ඇයට වයස අවුරුදු 24ක් තරම් වන විට එනම්, 1957 දෙසැම්බර් මස ඕ දිවිමඟ එක්ව ගමන් කරන්නට ඔහු හා දෑඟිලි බැඳගන්නට වූවාය.


මෙසේ සෙමෙන් ගලායන ජීවිතය සැබැවින්ම ඇයට ගංගාවක් සේ වන්නට විය. ගංගාවක් ගලායන රිද්මය පරිද්දෙන්ම ජීවිතය අපට සුවදායී විය. මේ සා සැහැල්ලු දිවි මංතලාවේ ඈට හුන් මිතුරි මිතුරියන්ගේද අඩුවක් නොවීය. තම ක්‍ෂේත්‍රය තුළ පවා බොහෝ කලාකරුවෝ ඇයට හිතැති වූහ. ඒ ඇය සතු නිහතමානීත්වය හා බොහෝ දෙනා තුළ සිත්ගත් චරිතයක් වීම හේතුකොට ගෙනය.
නමුදු ජීවිතය යනු ඔබ අප සැවොම සිටිනා එක්තරා වූ නැවතුම්පොළක් පමණි. මේ නැවතුම්පොළ තුළ විවිධ අවස්ථාවන් අප හා මිතුදමින් බැඳෙති. අයකු යම් වෛරයක් සිත තුළ පැලපදියම් කරගෙන ඉන්නවා වන්නටද පිළිවන. එනමුත් ලැටීෂියා පීරිස් නම් වූ සුහද රංග ශිල්පිනියට එසේ හිතවත්කම් හා අමනාපකම් දක්වන්නට කොට්ඨාස දෙකක් නොසිටියහ. ඇයට සිටියේ සියලු දන හා හිතවත්කම් දැක්වූ මිතුරු පිරිසක් පමණි.


කෙසේවුව ජීවිතය නම් සුසුම් පොද නිදහසේ ගලා යන්නට ඉඩක් නොතබාම එක් මොහොතක ලැටීෂියා නම්වූ කලාකාරිනියට දෛවය සරදම් කරන්නට විය. එනම් ඇය මතක ශක්තිය අඩුවීමේ රෝගයට මුහුණ පාන්නට වීමයි. ඒ 2008 වසරේදීය. එතැන් පටන් තමාට හුරුපුරුදු කැමරාව ඉදිරියෙන් බැහැරව හුදකලා ජීවිතයක් හා ඇයට සමීප වන්නට සිදුවිණි. ඇය සතු සියලු හැකියාවන් මෙන්ම කතාබහ පවා ඇයගෙන් ඈත්ව යන්නට තරම් වූ කරුණු කාරණා හේතු ඇතිව හෝ නැතිව ඇය වටා ගොනු වන්නට වූවාය. එතැන් පටන් ඇය සිතාගෙන උන් තමාගේම සදාකාලික හිතමිත්‍රාදීන් මෙන් වූ පිරිස ඈ බෙහෙවින් දයාබර වූ කලාකරුවන් කෙමෙන් කෙමෙන් ඇයගෙන් දුරස් වන්නට වූහ. ඇයගේ ලෙඩදුක් පවා බැලීමටවත් කිසිවකු නොපැමිණියේය.


යම් විටක හිතමිත්‍රාදීන්, මිතුරු මිතුරියන් මෙන් පෙනී සිටින්නා වූ බොහෝ කුහකයන්ගේ චර්යා රටාවන් එයම වන්නටද පිළිවන. ඇය කිසිත් කතාබහක් නොමැතිවම, සිහිකල්පනාව මඳ ගතියෙන් සිටිනා විට, ඇයගේ තනි නොතනියට නොව සුවදුක් බැලීමට තරම්වත් නොපැමිණ හිඳීමට සහෝදර කලාශිල්පීහු අකෘතඥ වූහ. 2008න් පසු කාල සමය පිළිබඳ ඉකුත් වත අප හා පැවැසුවේ ලැටීෂියා පීරිස් මහත්මියගේ දියණියයි.


"2008දී අම්මා අසනීප වුණා. ගොඩක් පත්තරවලින් මේ ගැන විස්තර සඳහන් වුණා. ඒත් කලාකරුවෝ කියන කිසිම අයෙක් අපේ අම්මට උදවු කරන්න නෙවෙයි, අම්මව බලන්නවත් ආවේ නෑ. ඒ තරමටම මේ අය අපේ අම්මව අමතක කරලා දැම්මා. කලාව වෙනුවෙන් පිහිටුවා ගත්ත සංවිධාන කොයිතරම් නම් ලංකාවෙ තියෙනවද? මේ හැම සංවිධානයකටම අපේ අම්මාව අමතක වුණා. ඒ අයට මතකවත් නෑ එහෙම නිළියක් හිටියදවත් කියලා. ඒත් මම එක් ඉල්ලීමක් කරලා තිබ්බා අම්මට රෝද පුටුවක් ඕන කියලා. මාලනී ෆොන්සේකා මහත්මිය විතරයි ඒ වෙනුවෙන් ඇහුම්කන් දීලා අම්මාට රෝද පුටුවක් ගෙනත් දුන්නේ. තවත් වෙලාවක රෝයි ද සිල්වා මහත්මයා, රජිත හිරාන් තවත් පිරිසක් එක්ක ඇවිල්ලා වෙනත් වැඩකට ආපු ගමන් අම්මාව බලන්න ආවා. දැන්නම් හොඳටම කලකිරෙනවා ලංකාවෙ කලාව කියන්නේ මේ වගේ තැනක්ද කියලා."


ඒ අතර මැදි සමයයි. නමුත් අසරණ වී හුන් ඈ මීට සති කිහිපයකට ඉහතදී රංගන ජීවිතයෙන් පමණක් නොව තම ජීවන රඟ මඬලින්ද සමුගත්තාය. ජීවිතයේ අවසාන කාලයේ පවා කලා ක්‍ෂේත්‍රයේ කිසිවකුගේත් දෑස්වලට ලක්නොවුණු ඈ තම 80 වැනි වියේදී ජීවිතයෙන් සමුගන්නා විටදී අවසන් බුහුමන් දක්වන්නට කිසිවකුත් පැමිණියේ නැත. ඇයගේ අවසන් මොහොතේදීද ඇය හා ළඟින් හුන්නේ ජීවිතයේ අවසාන කාලයේදී ළඟින් හුන් අයම පමණි.


ලැටීෂියා පීරිස් නම් වූ කලාකාරිය තම අවසන් කාලය දිවි ගෙවූයේ රද්‍ෙදාළුව පිහිටි ඇයගේ නිවහනේය. ඇයගේ අවසන් කටයුතු කළ මොහොතේදී අතිගරු ජනාධිපතිතුමා විසින් එවූ ශෝකී පණිවුඩයක් අවමංගල්‍ය සභාවේදී ඉදිරිපත් කළ අතර ඊට අමතරව රත්නසිරි වික්‍රමනායක මහතාද මේ අවසන් මොහොතට සහභාගි විය. මේ හැර ලැටීෂියා පීරිස් නම් වූ ඇයගේ අවසාන කටයුතු වෙනුවෙන් කිසිම කලාකරුවකු හෝ කලාකාරිනියක අවසන් කටයුතු උදෙසා සම්බන්ධව නොසිටියහ. සිනමාව හා සම්බන්ධ යම් දෙයක් වී නම් ඒ වෙනුවෙන් පෙනෙන්නට හෝ තිබුණේ සිනෙස්ටා පදනමේ නියෝජිතයකු විසින් රඳවා ගිය බැනරයක් පමණි. මේ සියලු කටයුතු අවසාන ඇයගේ දියණිය පවසන්නේ මෙවන් දෙයකි.


"අම්මගේ අවසන් කටයුතු අවසානෙදි චිත්‍රපට සංස්ථාවේ එක මහත්මයෙක් කියලා ගියා මරණ සහතිකේ පිටපතක් එවන්න කියලා. මේ හැරෙන්න සිනමාවෙ තියෙන්න පුළුවන් මේ දේවල් එක්ක සම්බන්ධ කිසිම අයෙක් අම්මට අන්තිම ගෞරව දක්වන්නවත් ආවේ නෑ. ඒ අය අපේ අම්මට සැලකුවේ ඒ විදියට. ලංකාවේ මොනතරම් සිනමා සංගම් තිබුණත් ලැටීෂියා පීරිස් කියන නිළියව අමතක කරලා දාලා තිබුණේ."
ඒ ඇයගේ වදන්ය. ඇය පවසන පරිද්දෙන්ම සිනමා සංවිධාන කොතෙක් තිබුණද ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් වන ජීවිතයේ එක් වරක් හෝ ලබාදෙන සම්මානයක්වත් ලබාදෙන්නට මේ කිසිදු සංවිධානයකට හැකියාවක් තිබුණේද නැත.


ඉදින් අවසන අප සැමට ඉතිරිවන එකම පැනය වන්නේ සුන්දර යැයි කියලා කලා ලෝකයේ අයවලුන් මෙතරම්ම අසුන්දර දැයි යන්න පමණි.


රජිත බස්නායක
ඇන්දේ - ලහිරු සඳරුවන්

0 comments:

Post a Comment